තට්ට ගායිකාව (2016)

තට්ට ගායිකාව නාට්‍යය නැවතත් වරක් - සිව් වැනි වරටත් - නිශ්පාදනය වෙනවා. 2002-2003 කාලයේ මේ නාට්‍යය මුලින් ම වේදිකාගත වෙනකොට එහි හිටපු අපි හැමෝම මේ ක්ශේත්‍රයට ඉතාම අලුත්. මහ විසාල නම් සහ ප්‍රතිරූප එකක් වත් ඒ නිශ්පාදන දෙකේ තිබුනෙ නෑ. ඒත් සංස්කෘතික ඇමතිගෙන් වත්, ඇමති පත් කරපු විනිසුරු මඩුල්ලෙන් වත්, රාජ්‍ය තන්ත්‍රයේ සේවාවට-තේවාවට-වන්දිභට්ටකමට කැප ව සිටින අනුමන්ඩලයෙන් වත් "අපේ නාට්‍යය ශෝයිද සර්" කියලා අහන්නෙ නැතුව, රාජ්‍ය නියාමන යාන්ත්‍රනය වෙනුවෙන් නො ව ප්‍රේක්ශකයා වෙනුවෙන් නාට්‍යයක් නිපදවන්න අපිට හැකි වුනා. කොටින් ම, එදා මේ නාට්‍යය, දැන් මරා දමා ඇති ජෝන් ද සිල්වා රඟහලේ වේදිකාගත කෙරුනේ රාජ්‍ය නාට්‍ය තරගය (උලෙල) අවසන් වී හරියට ම සතියකට පසුවයි. අප විශ්වාසය තැබූ ප්‍රේක්ශක ජනතාව අමතන්න අපේම අත්වලින් ඇඳපු පෝස්ටර් ව්‍යාපාරයක් අපට තිබුනා. රඟහල පිරෙන්න සෙනග හිටියා. අපට මුනගැහුනේ නාට්‍ය කලාව ගැන දැනුවත් ගුනාත්මක ප්‍රේක්ශකාගාරයක් බව නාට්‍යය අවසානයේ ඔවුන් දැනහඳුනාගෙන කතාබස් කරන විටත් වැටහුනා.

මේ වතාවේ පුංචි තියටර් එකේ තට්ට ගායිකාව වේදිකාගත වෙන්නේ රාජ්‍ය (ජාතික?) නාට්‍ය උලෙල අවසන් වී හරියටම පැය විසිහතරක් ඇතුලත යි. එදා මෙදා තුර මේ නාට්‍යය රාජ්‍ය නාට්‍ය තරගය, යොවුන් නාට්‍ය තරගාවලිය, ජලසම්පාදන නාට්‍ය තරගය, මධ්‍යම පලාත් නාට්‍ය තරගය, පැනිදෙනිය පොදු වැසිකිලි නාට්‍ය තරගාවලිය ... මෙකී නොකී කිසිදු තරගයක - බොහෝ විට රාජ්‍ය තන්ත්‍රය හා එහි සදාචාරය නියෝජනය කරන, එමගින් නාට්‍ය කලාවේ දිග පලල නිර්වචනය කරන - නියාමක වියතුන් විසින් ඇඳ දෙනු ලැබූ කොටු තුල අඹ ඇට පනින්නට යවා නැති බව සිහිපත් කරන්නේ ඉතා අභිමානයෙන්. වෙනත් වචනවලින් කියතොත්, මේ නාට්‍යය තවත් නාට්‍යකරුවන්ගේ නිර්මානවලට එරෙහි ව, පාලක පන්තියේ අත්පොලසන් ලබන අටියෙන් මල්ලව පොර තරගවල යෙදී නෑ. මේක කලාත්මක ප්‍රයත්නයක්. ජීවිතය ගැන, මිනිස් සම්බන්ධතා ගැන, සන්නිවේදනය හා භාශාව ආදිය ගැන විශේශ දෘශ්ටි කෝනයකින් බලන, ඒවායේ ප්‍රශ්නකාරී පැතිකඩ අනාවරනය කරන නාට්‍යයක්. මේ වතාවේත් එහි එල්ලය ප්‍රේක්ශකයා මුනගැසීමයි.

අද ආපසු හැරී බලන විට තවත් අසිරිමත් දෙයක් කල්පනා වුනා. මේ නාට්‍යයේ රඟපෑම සඳහා යොදාගන්නා ක්‍රමවේදය ඇත්තට ම විනිශ්චය මන්ඩලයක් අබියස රඟපාන්න යොදාගෙන වැඩක් නැති ක්‍රමයක්. හිස් රංග ශාලාවක ඊනියා "පලමු වටය" හෝ "ප්‍රාදේශීය වටය" වෙනුවෙන් විනිසුරන් අබියස ඇඹරෙන්න මේ නාට්‍යයට බෑ. මොකද මේ නලුනිලියන්ට ප්‍රේක්ශකාගාරය එක්ක ගනුදෙනුවක් තියෙනවා. පිරී ගිය ප්‍රේක්ශකාගාරයක් සමග මුහුනට මුහුන, දෙනෙතට දෙනෙත මුන නොගැහී මේ නාට්‍යයේ ගින්දර පත්තු වෙන්නේ නෑ. මේ ක්‍රමවේදය ඊට පෙරත් කංචුකා ධර්මසිරි අධ්‍යක්ශනය කල තවත් නාට්‍යවල තිබුනා.

දෙවන ලෝක යුද්ධය අවසන, ඊට ප්‍රථම දශකය පුරා ඉහවහා ගිය ප්‍රතිගාමීත්වයටත් ජීවිතය පිලිබඳ මධ්‍යම-පාන්තික-මුග්ධ-සංතෘප්තියටත් එරෙහිව ගසන ලද කැරැල්ලක් බඳු මේ නාට්‍යයට නාට්‍ය තරග භූමිවල වියරනයට අනුගත ආචාර-සමාචාරවත් හැසිරීම්, කුහක ආත්මතෘප්තිය හා ස්වාමි ප්‍රීනනය සඳහා ම නිරත වන මල්ලව පොර බඳු රඟදැක්වීම් සහිත වාතාවරනය හා සදාචාර වෘත්තිය ඉහිලුම් දෙන්නේ නෑ. අවසාන විග්‍රහයේ දී මේ නාට්‍යය එවැනි අවකාශවලට පිටත සිට එල්ල කරන ශෙල් වෙඩි ප්‍රහාරයක් වැනියි.