ශක්තික සත්කුමාර නිදහස් කරනු!

ලේඛක ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහි ව අධිකරණ ක්‍රියාදාමයක් දියත් කිරීම කලා නිර්මාණකරණයට හා ප්‍රකාශන නිදහසට එල්ල කෙරුණු බරපතල පහරකි. ඔහු වහා නිදහස් කරන මෙන් මම බල කර සිටිමි.

සිංහල පත පොත කියවන පාඨකයාට ශක්තික සත්කුමාර ආගන්තුකයෙක් නො වේ. දසකයකට අධික කාලයක් පුරා අපට ඔහුගේ නිර්මාණ හා විචාරාත්මක කෘති අසා-දැක-කියවා පුරුදු ය.

ඔහු නොකඩවා සිරභාරයේ රඳවා තිබෙන්නේ බෞද්ධ අන්තවාදී කණ්ඩායම්වල උදහසට පාත්‍ර වන පරිදි කෙටිකතාවක් ලියා සිය ෆේස්බුක් පිටුව තුළ පළ කිරීම හේතුවෙනි. කලා කෘති වාරණයට ලක් වීම සම්බන්ධ දිගු ඉතිහාසයක් සහිත ශ්‍රී ලංකාව තුළ මෙලෙස කලා නිර්මාණයක නිරත වූ ලේඛකයකු අත්අඩංගුවට පත් ව ඇත්තේ පළමු වතාවට ය. ඔහු අත්අඩංගුවේ සිටින අතර පැවැති ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේ දී රටේ ජනාධිපති "දීලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදය වනස ගන්න එපා" යි මාධ්‍යවේදීන්ට තර්ජනාංගුලිය එසවී ය. අප්‍රේල් 21 වැනි දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර හේතුවක් කරගනිමින් සමාජ මාධ්‍ය මත පැනවූ වාරණය තව ම ක්‍රියාත්මක ය. තව ද හදිසි නීතිය පනවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ වගන්ති ද බලාත්මක කරමින් මර්දනය වඩාත් වැරගන්වනු ලැබ ඇත. අධිරාජ්‍යවාදී යුද අපරාධ ලොවට හෙළි කළ චෙල්සී මෑනිං සහ ජූලියන් අසාන්ජ් ලෝක ගෝලය අනිත් පැත්තේ සිර මැඳිරි තුළ අතිශය අවිනිශ්චිත අනාගතයකට මුහුණ දී සිටිති. ලොව පුරා අන්ත දක්ෂිණාංශික දේශපාලන පක්ෂ හා කන්ඩායම් සිය අනුහස පතුරමින් ප්‍රධාන ධාරාවේ වේදිකා මතට අවතීර්ණ වෙමින් සිටිත්. සත්කුමාරට එරෙහි වෛරී ප්‍රචාර සහිත උද්ඝෝෂණයක් දියත් කොට එය අධිකරණය දක්වා ගෙන ගිය බෞද්ධ කන්ඩායම් ශක්තිය වඩාගන්නේ ද එම පුළුල් වාතාවරණයෙහි කොටසක් හැටියට ය.

සත්කුමාර විසින් රචිත "අර්ධ" කෙටිකතාවේ විෂය පරාසය තුළ ම තිබෙන තවත් කෘති අතීතයේ දී ද බිහි ව තිබේ. මෙවැනි තේමා සිංහල සාහිත්‍යයෙහි දුර්ලභ නැත. පාඨකයෝ ඒවා බොහෝ කලක් තිස්සේ ඉතා සාමාන්‍ය අන්දමින් කියැවූහ. පාලකයින්ට හා ආගමික සංස්ථාවන්ට ඒවා ඉහිලුම් නොදෙන තත්වයක් උදා වී ලේඛකයින්ට හිරගෙවල්වල ලගින්ට සිදු වූයේ නැත. මෙය අලුත් තත්වයකි; පෙර පැවති වාරණය හා මර්දනය නව තලයකට නැංවීමකි.

පෙනෙන පරිදි බෞද්ධ කණ්ඩායම්වල උදහසට ලක් ව ඇත්තේ සත්කුමාරගේ කෘතියෙහි ඇති ගරුසරු නැති ස්වරය හා අන්තර්ගතය යි. ඔහුගේ කෘතියෙහි ඇති ඍජු, ඇතැම් විට රළු පරළු පවා වූ ලක්ෂණ අපට ඇඟවුම් කරන්නේ කුමක් ද යන්න කල්පනා කර බැලීම වැදගත් ය. බෞද්ධ සංස්ථාපිතය සාහිත්‍ය නිර්මාණ තුළ සමීප පරීක්ෂාවට ලක් කිරීමට හා ඇතැම් විට ප්‍රහාරයට ලක් කිරීමට අලුත් පරම්පරාවක ලේඛක ලේඛිකාවන් තුළ තිබෙන නොපසුබට නැඹුරුවට මේ කෘතිය නිදසුනකි.

නව පරපුරේ ඇතැම් ලේඛකයෝ තව දුරටත් ආගමික සංස්ථා හා ඒවායේ නායක චරිත අසහාය, විමර්ශනයට ලක් නොවිය යුතු මාතෘකා ලෙස නොසලකති. තව ද එම සංස්ථාවන් කෙරෙහි දැවෙන කෝපයක් ද ඔවුන්ගේ සමහර නිර්මාණවලින් පළ වෙයි. මෙය ඒවායෙහි යොදාගැනෙන සංකල්පරූප හා වාංමාලාව දුටු පමණින් ම හඳුනාගත හැකි ලක්ෂණයකි. එක් අතකින් එම සංස්ථාවන් දිගු කලක් මුළුල්ලේ භුක්ති විඳි සදාචාර අධිකාරයේ ගරා වැටීමක් මෙයින් සලකුණු කෙරන බව මම කල්පනා කරමි. ලේඛකයෝ පෙර පැවති පිළිවෙල නොතකා, ආගමික සදාචාර නියර නොතකා ලිවීමට නැඹුරු වෙමින් සිටිති. කලාත්මක ප්‍රකාශනය මත යම් මට්ටමකින් පැවති සිය අධිකාරය මෙලෙස ගරා වැටීමට එරෙහි ව බෞද්ධ සංස්ථාපිතය තුළ වඩාත් අන්තවාදී කල්ලි දක්වන වියරු ප්‍රතික්‍රියාවක ප්‍රකාශනයක් හැටියට ඔවුන් සත්කුමාරට එරෙහි ව දියත් කළ ප්‍රහාරය හඳුනාගත හැකි ය. එය අර්බුද ග්‍රස්ත පාලක පන්තියේ මර්දක අවශ්‍යතා සමග ජාඩියට මූඩිය මෙන් පෑහෙයි. දිගු කලක් තිස්සේ - විශේෂයෙන් මෙරට තිස් අවුරුදු යුද කාල පරිච්ඡේදය තුළ - මේ දෙපාර්ශ්වය අතර පැවති සන්ධානය ගැන නොදන්නා කෙනෙක් නැත.

ලිවිය යුතු දේ හා සිතිය යුතු දේ පිළිබඳ එකල කලාකරුවන්ට නිකුත් කෙරුණු ඇණවුම් ගැන සත්කුමාර මීට දසකයකට පෙර ලියූ කවියක මෙසේ සඳහන් වෙයි:

“කොටියා කොටියාමය දෙමළා දෙමළාමය මේක අපේ සිංහල රට ලිවිය යුතුයි සිංහලකම ගැන

"තව දස වසරකින් සුරපුරක් වේය මේ ලක වේලක් කා දිනකට සැමදෙන දකිව් ඒ සිහිනය”

මගේ කවිය රාවය, 2009 ඔක්තෝබර් 11, 18 පිටුව.

දිගු කලක් තිස්සේ අප ලේඛකයා සිරමැඳිරි තුළ කොටු කර උසාවි ගාණේ රස්තියාදු කළ හැකි පරිදි ඉතා සූක්ෂ්ම අන්දමින් ගණන් බලා නීති සංකලනය කරමින් ඔවුන් මෙම නඩුව අටවා ඇති බව පැහැදිලි ය. එමඟින් තවත් බොහෝ දෙනෙකුට පාඩමක් ඉගැන්වීම ඔවුන්ගේ අපේක්ෂාව බව පෙනේ.

සත්කුමාර සිරගත කිරීම ගැන විරෝධය පළ කරන ඇතැමෙක් (අතිරේක සඳහනක් එකතු කරමින්) ඔහුගේ කෘතියෙහි "කලාත්මක අගය" පිළිබඳ තමන්ට විවේචන ඇති බව ද කීමට අමතක නොකරති: "මර්දනයට විරුද්ධයි, ඒත් ..." මා සිතන්නේ මෙය මාතෘකාවෙන් පිට පැනීමක් බව ය. සත්කුමාර සිරගත කරන මොහොත වන විට අපි කිසිවකුත් ඔහුගේ කෘතියෙහි කලාත්මක අගය ගැන විවාදයක යෙදී නොසිටියෙමු. මේ සාකච්ඡාව ආරම්භ කර දුන්නෝ බෞද්ධ අන්තවාදීහු ය. මර්දනයට ලක් ව සිටින කලාකරුවකුගේ කෘතිවල රුව-ගුණ විනිශ්චය කිරීමට එවැනි කල්ලිවල හා අධිකරණයේ මූලාරම්භකත්වය අපි නොපැතිය යුතු වෙමු. සත්තකින් ම වාරණය හා මර්දනය එන්නේ මේ ස්වරූපයෙනි. පළමු පහර එල්ල වන්නේ ශේක්ස්පියර්ට නො වේ. පළමු පහර එල්ල වන්නේ විරුද්ධවාදීන් වැඩියෙන් සිටින, එතරම් දෙනෙකු සාහිත්‍යික වශයෙන් ආරක්ෂා කිරීමට ඉදිරිපත් නොවන වර්ගයේ කෘතියකට ය; එවැන්නක් ලියූ කලාකරුවකුට ය. දෙවැනි, තෙවැනි පහරවල් කම්මැල්ලවීරලාට, පියල් කාරියවසම්ලාට පමනක් නො ව මාර්ටින් වික්‍රමසිංහට ද වදිනු ඇත. අප මේ ක්‍රියාදාමයට විරුද්ධ විය යුත්තේ කොන්දේසි විරහිත ව ය.

මෙලෙස කලාකරුවකු සිර භාරයට ගෙන දිගු කලක් මුළුල්ලේ පීඩාවට පත් කරනු ලැබීම, කලා නිර්මාණ නිදහස හා අදහස් ප්‍රකාශනයේ අයිතිය අගයන සියලු දෙනාගේ විරෝධයට ලක් විය යුතු කරුණකි. එහෙයින් ඊට එරෙහි ව විවෘත ව හඬ නඟමින් පෙරට එන මෙන් සියලු කලාකරුවන්ගෙන් ඉල්ලා සිටිමි.

පෙර කී පරිදි චෙල්සී මෑනිංට හා ජූලියන් අසාන්ජ්ට එරෙහි ව දියත් ව ඇති ප්‍රහාරය මෙන් ම ශක්තික සත්කුමාරට එරෙහි ක්‍රියාදාමය ද තක්සේරු කරගත යුත්තේ ලොව වටා ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එල්ල වෙමින් පවතින ප්‍රහාරවල කොටසක් ලෙස යි. මෙම ප්‍රජාතන්ත්‍ර අයිතීන්, ඒවා විනාශ කිරීමේ යෙදී සිටින පාලක පන්තියේ ම ඒ හෝ මේ කණ්ඩායම ලවා ආරක්ෂා කරවාගත නොහැකි ය. එම අයිතීන් ආරක්ෂා කිරීම, ධනවාදයට එරෙහි සටනේ එක ම ශක්‍ය පන්ති බලවේගය වන කම්කරු පන්තියේ උර මත දැන් රැඳී පවතී. එහෙයින් අප පෙළගැසිය යුත්තේ එම කම්කරු පන්තිය පසුපස ය. මේ නිශ්චිත පදනම මත පිහිටා සත්කුමාර නිදහස් කරගැනීම සඳහා සසප දියත් කර ඇති උද්ඝෝෂණයට මගේ පූර්ණ සහාය පළ කර සිටිමි.

ලොහාන් ගුණවීර (දෘශ්‍ය හා අභිවහන කලාකරු සහ පරිවර්තක) 2019 අප්‍රේල් 28

[ඉහළ පළ කර ඇත්තේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය වෙත මවිසින් යවන ලද ප්‍රකාශය යි. මෙහි සංස්කරණය කරන ලද කොටස් 2019 මැයි 5 වැනි දින ලේඛක ශක්තික සත්කුමාර නිදහස් කර ගැනීමේ සසප උද්ඝෝෂනයට කලාකරුවෝ සහාය පල කරති යන මැයින් එම අඩවියෙහි පළ වූ ලිපිය තුළ අන්තර්ගත විය.]