වසංගත දිනපොත (1)

සමාජ දුරස්ථභාවය කියන පදය අද සිංහල කතා කරන වැඩි දෙනෙකුට තේරෙනව ද? ගමේ අත්දැකීම අනුව මට පේන්නේ ඒක තේරුම්ගන්න අමාරු පදයක් බව යි. තේරිය යුතු දෙයක් වීම සහ තේරුම් යාම අතර ලොකු පරතරයක් තියෙනවා. අනිත් අතට මීටරයක් ඈතින් ඉන්න කිව්වත්, මීටරය දන්නා අයත් එච්චර නෑ. මේක විහිළුවක් නෙමෙයි. 'බඹයක් දුරින් හිටපල්ලා' කිව්වොත් විතරක් තේරෙන අය ඉන්නවා. ඒ වගේ ම මේ දුරින් ඉඳීම දැන් පැතිර යන රෝගයෙන් බේරීමේ මඟක් බව දන්නා අයගේ හිගයකුත් පේනවා. ගම්බද ජනතාවට විශ්වසනීය පුවත් මූලාශ්‍ර අඩු යි. ෆේස්බුක් වැනි දේවල් ගැන යම් හුරුවක් ඇති අයට වුණත් ඒ අඩවිවල සැරිසරා වැදගත් තොරතුරක් හොයාගන්නා විදිහ ගැන අවබෝධය අඩුයි. මේ වර්ගයේ සමාජ ජාල කොහොමත් විකාර සහගත ඇල්ගොරිතම්වලින් අවුල් කරලයි තියෙන්නේ. ඒ නිසා කාලානුක්‍රමික පිළිවෙලකට අලුත් ම තොරතුරු ලබාගැනීම සෑහෙන අභියෝගයක්.

ඇඳිරි නීතිය ඉවත් කරන දිනවලට මේක විශේෂ ගැටලුවක් බවට පත් වෙනවා. රූපවාහිනිය හා ගුවන්විදුලිය සිය ප්‍රවෘත්ති විකාශවල ප්‍රධාන වශයෙන් කරන්නේ ආණ්ඩුව කොරෝනා මර්දනය සඳහා ගෙන යන වැඩපිළිවෙලේ 'සාර්ථකත්වය' හුවාදැක්වීම යි. ඊට අමතර ව පොලිස් හා හමුදා වැටලීම් වාර්තා කිරීමට ඔවුන් සමඟ යාම, කොරෝනා ආසාදිතයින්ගේ නිවාස පිහිටි වීදි දිගේ ඩ්‍රෝන් කැමරා පියාසර කරවීම වගේ වැඩත් ජාතික මාධ්‍ය ආයතන තම කාරිය හැටියට සලකන බව පේනවා. ඇයි වර්ගවාදය ඇවිස්සීම? ඒකත් සෑහෙන ප්‍රමුඛතාවක් දී ඇති වැඩක්. ලෙඩා මුස්ලිම් නම් ප්‍රවෘත්තිවල 'ඇත්ත' දෙගුණ තෙගුණ වෙනවා. 'පැත්ත ගියත් ඇත්ත කියන්න' ඉතා උද්‍යෝගයෙන් ඉදිරිපත් වෙනවා. ඒත් හෙට ඇඳිරි නීතිය ඉවත් කරනවා නම් අද ප්‍රමුඛත්වය දිය යුත්තේ දැනට පවතින තත්වය ගැන ඇත්ත කීමට හා හෙට දිනයේ අනුගමනය කළ යුතු හොඳ ම පියවර හැකි තාක් අවධාරණයෙන් ජනතාවට පැහැදිලි කිරීමට යි. ජනතාව ආරක්ෂා කරගත හැක්කේ ඇත්ත කීමෙන් හා ඒ ඇත්ත හැකිතාක් හොඳින් සන්නිවේදනය කිරීමෙන් පමණ යි.

ඉතින් ගමේ උදවිය කඩපොලවල ටැග්ගැහෙනවා. මගතොටේ රංචු පිටින් ගමන් යනවා. පාරේ අනිත් පැත්තෙන් යන හිතවතුන් දැක්කාම 'ඉතින් ඉතින්?' කියන්න පණ කඩාගෙන පාර පැනගෙන ළඟටම යනවා. සමහරු අහල පහළ ගෙවල්වලට, නෑදෑයින් ළඟට යන්න මේක හොඳ අවස්ථාවක් හැටියට සලකනවා. හය වැනිදා ඇඳිරි නීති විරාමයේ දී කඩේ ගිහින් ඇවිත් බඩු අස් කරමින් ඉන්නා අතර දොරේ සීනුව වදිනවා ඇහුණා. බලනකොට ගම් දෙකකට එහා කෙනෙක් දොර ළඟ. මට එක පාරට හිතුණේ කාට හරි කරදරයක්, එහෙමත් නැත්නම් මුදල් හදිසියක් වෙලා කියලා. ඒත් වාසනාවකට එහෙම දෙයක් නෙමෙයි. ඔහු ඇවිත් තිබුණේ ගෙදර හිඳපු පොල් තෙල් බෝතලයක් දීලා යන්න! එතරම් හොඳ සෞඛ්‍ය තත්වයක නැති අප්පච්චී ළඟට ගොස් අතට ම බෝතලය දුන් ඔහු ආ ගිය තොරතුරු කතා කළා. ඇඳිරි නීතිය නොතිබ්බා නම් මීට කලින් එන බවත් සහතික කෙරුවා. මේ සේරම සිද්ධ වෙන්න තත්පර තිහක් වත් ගියේ නෑ. ඔය කියන සමාජ දුරස්ථභාවය ගැන කිසිම දෙයක් අපේ හිතවතා දැනගෙන හිටියේ නැහැ. තවත් ගෙවල් දෙකතුනකට වත් ඔහුගේ පොල් තෙල් දානය ලැබෙන්න ඇති. යුද්දෙ දිනපු ආණ්ඩුවට මේක ලොකු දෙයක් නොවන බව රූපවාහිනිය නරඹා හොඳින් දැනුවත් වී සිටි මගේ අප්පච්චී 'එයා කවදත් මෙහෙ ආපු කෙනෙක්නේ. එයාගෙන් ප්‍රශ්නයක් වෙන්න විදිහක් නෑ' කියමින් මගේ බිය සැක දුරු කළා.