වියට්නාම්: ද ලාස්ට් බැට්ල්

මා නරඹා ඇති ප්‍රබල ම වාර්තා චිත්‍රපටි කිහිපයක ම නිර්මාපකයා ජෝන් පිල්ජර්. පහුගිය සති අන්තයක ඔහුගේ වියට්නාම්: ද ලාස්ට් බැට්ල් (Vietnam: The Last Battle) නමැති චිත්‍රපටිය නරඹන්න ලැබුණා. එයත් ඔහුගේ සෙසු සියලුම චිත්‍රපටිත් පිල්ජර්ගේ වෙබ් අඩවියෙන් නොමිලේ නරඹන්න පුළුවන්. දීර්ඝ කලක් පුරා බ්‍රිතාන්‍ය ඩේලි මිරර් පුවත්පතේ යුද වාර්තාකරුවකු ලෙස කටයුතු කළ පිල්ජර් වියට්නාම් යුද්ධය පිළිබඳ සමීප අවබෝධයකින් යුතු අයෙක්. ඔහු වියට්නාම් යුද්ධයේ විවිධ පැති අළලා චිත්‍රපටි කිහිපයක් ම නිර්මාණය කර තිබෙනවා. ඒවා ජනමාධ්‍යවේදය හා වාර්තා චිත්‍රපටිකරණය පිළිබඳ ඉහළ ම මට්ටමේ නිදසුන්. ඔහුගේ චිත්‍රපටිවල රූපමය බස සරල යි; නිරවුල් හා ඍජු යි. සීමාව ඉක්මවන තාක්ෂණික හා ශිල්පීය හරඹවලින් තොර යි. ඔහුගේ අරමුණ සිය විෂය පිළිබඳ හැකි තාක් වෛෂයික හා සමීප චිත්‍රයක් නරඹන්නාට ලබා දීම බව ඉක්මනින් අපට වැටහෙනවා. මේ චිත්‍රපටිය නිපදවෙන්නේ 1995 දී. ඒ කියන්නේ වියට්නාම් යුද්ධයේ අවසානයෙන් අවුරුදු විස්සකට පසු.

මේ චිත්‍රපටිය ඇරඹෙන්නේ වියට්නාමයේ ඉතිහාසයේ එක්තරා අඳුරු හා 'රහසිගත' පැත්තක් සැකෙවින් අනාවරණය කරමින්. ප්‍රන්ස යටත් විජිතවාදීන්ගෙන් නිදහස ප්‍රකාශයට පත් කරමින් බලයට පැමිණි වහා හෝ චි මිං උත්සාහ කරන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ සබඳතා තර කරගන්නයි. ඔහු චීනයෙන් හා සෝවියට් සංගමයෙන් ආධාර ඉල්ලා සිටීමෙන් වැළකෙනවා. ඒත් ඔහුගේ ඉල්ලීම්වලට කිසිදු ප්‍රතිචාරයක් එක්සත් ජනපදයෙන් ලැබෙන්නේ නැහැ. ඇත්තෙන් ම මෙය චීන විප්ලවයට පසු ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ පෙළගැසීමට මාඕ සේතුං දැරූ ප්‍රයත්නයට සමාන යි. ඒත් ඒ වෙනුවට, වියට්නාමය එළඹෙන කොමියුනිස්ට් ආක්‍රමණයක භූමිය හැටියට හංවඩු ගසමින් තිස් වසරක් පුරා දිග්ගැස්සුණු යුද්ධයකට එක්සත් ජනපදය අවතීර්ණ වෙනවා!

යුද්ධයේ අවසානයෙන් පසු වත් එක්සත් ජනපදය සම්බාධක පනවමින් වියට්නාමය යළි හිස එසවීම වැළැක්වීමට හැකි සියලු දේ කළා. බ්‍රිතාන්‍ය අගමැතිනි මාග්‍රට් තැචර් බලයට ආ පසු කළ මුල් ම වැඩවලින් එකක් වුණේ වියට්නාම් දරුවන්ගේ කිරිපිටි නැව්ගත කිරීම තහනම් කිරීම යි. මේ අවහිර කිරීම් නිසා වියට්නාමයට සෝවියට් සංගමය දෙසට හැරීම ඇර වෙනත් විකල්පයක් නැති තැනට පත් කළා. යුද ජයග්‍රහණයේ ප්‍රතිඵල පැවතුණේ එවැනි තත්වයක. අවුරුදු ගණනාවක් තිස්සේ මේ පශ්චාත් යුද වියට්නාමයෙන් පලා යන සරණාගතයින්ගේ කතාන්තර පුවත් සිරස්තල පිරෙව්වා.

ඉන් පසු යළි පැමිණීමේ හා ආර්ථිකය විවෘත කිරීමේ කාලපරිච්ඡේදයක්. වියට්නාමය ලාභ ශ්‍රම වෙළඳපොලක් බවට පත් වීම මේ අලුත් අවධියේ මූලික ලක්ෂණයක් වුණා. ගෝලීය ප්‍රාග්ධනයේ අනුහස තහවුරු වීමත් සමඟ වෙනස් වන සමාජ ආර්ථික හා දේශපාලන භූදර්ශනය චිත්‍රපටිය තුළ ඇඳෙනවා. මේ වෙනස්කම් ශ්‍රී ලංකාවේ සිට මෙය නරඹන ප්‍රේක්ෂකයින්ට හුරුපුරුදු ප්‍රතිරාව නැංවීමක් වෙන්න ඉඩ තියෙනවා. චිත්‍රපටය තුළ වියට්නාම් ආණ්ඩුවේ ආර්ථික උපදේශකයකු සිය විවෘත මොඩලය ඉදිරිපත් කරන්නේ "වෙළඳපොල සමාජවාදය" හැටියට.

හේඩීස් මෙහෙයුම හෙවත් Operation Ranch Hand හැටියට හැඳින්වුණු ගස්වැල් මරාදමන ඩයොක්සින් රසායනික ප්‍රහාරයේ ප්‍රතිඵල අත්විඳින්න වුණේ එක්සත් ජනපද මෙහෙයුම මඟින් "මුදාගැනීමට" අපේක්ෂිත බව ප්‍රකාශ වුණු දකුණු වියට්නාමයට යි. මේ මෙහෙයුමේ අරමුණ වුණේ වියට්කොං හමුදාවට ආහාර හා වන ආවරණය අහිමි කිරීම යි. හෙක්ටයාර මිලියන දෙකක පමණ නිවර්තන වනාන්තර ප්‍රමාණයක් මෙමඟින් මුළුමනින් ම විනාශ කෙරුණා. ඒ වියට්නාමය සතු වෘක්ෂලතාදියෙන් හරි අඩක්! 1970 දී එක්සත් ජනපද සෙනෙට් සභාවට වාර්තා කෙරුණු පරිදි වියට්නාමයේ සෑම පිරිමියකු, ගැහැණියක හා දරුවකු සඳහා ම විෂ රසායන රාත්තල් හයක් බැගින් පමණ හෙළනු ලැබ තිබූ බව චිත්‍රපටියේ සඳහන් වෙනවා. මේ විනාශයට ලක් වූ භූමිභාග යළි වගාකිරීමේ ප්‍රයත්නයේ ඇතැම් දර්ශන චිත්‍රපටියේ දැක්වෙනවා. විකෘතතා සහිත දරුවන් ඉපදීම අතින් වියට්නාමය ලොව අන් සියලු තැන් අභිබවනවා. මේ එම රසායනික ප්‍රහාරයේ මානව වන්දිය යි. තව ද ඒජන්ට් ඔරෙන්ජ් නමින් හැදින්වුණු විෂ ද්‍රව්‍යය පිළිකා සඳහා බලපා ඇති අයුරු අනූ ගණන්වල තහවුරු කෙරුණා. යුද්ධයේ දී මෙයට නිරාවරණය වූ ඇමෙරිකානු හා ඔස්ට්‍රේලියානු සොල්දාදුවන්ට දැන් වන්දි ලැබී තිබුණත් වියට්නාම් වාසීන්ට ලැබුණු දෙයක් නැහැ.

1978 දී ඇමෙරිකානු ජනාධිපති ජිමී කාටර් වියට්නාමයට වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කළේ හානිය දෙපාර්ශ්වයට ම සිදු වූවක් බව පවසමින්. "අපි ඔවුන්ට කිසිවක් ණය නැහැ" ඔහු කියාසිටියා.

දකුණු වියට්නාමය "කොමියුනිස්ට්වාදයෙන් බේරාගැනීම" සඳහා එම ප්‍රදේශයට හෙළන ලද බෝම්බවල තරම ගැන අදහසක් තිබුණත් උතුරේ සිදු කෙරුණු යුද්ධයේ කුරිරු ස්වභාවය ඒ තරම් පුළුල් වසයෙන් අදටත් වාර්තා වී නැහැ. 1975 දී උතුරු වියට්නාමයට ගිය විට දක්නට ලැබුණු දසුන් පිල්ජර් විස්තර කරනවා. ජීවයේ සියලු සලකුණු විනාශ කර අතුගා දැමුණු භූ දර්ශනයක්.

විවෘත ආර්ථිකය හා ගෝලීය ප්‍රාග්ධනයේ ආගමනය සමඟ වියට්නාමයේ සෞඛ්‍ය, අධ්‍යාපන හා වෙනත් සුබසාධන සේවා ව්‍යුහ වේගයෙන් විනාශ වී ගොස් ඇති අන්දම චිත්‍රපටිය විස්තර කරනවා. සියයට අනූවක සාක්ෂරතාවක් තහවුරු කළ අධ්‍යාපන ක්‍රමය ද අභාවයට ගිහින්. ශ්‍රම වෙළඳපොලේ අලුත් අවශ්‍යතා අනුව යළි සකසා ඇති අධ්‍යාපනය තවදුරටත් නිදහස් හා නොමිලේ ලැබෙන්නක් නෙමෙයි. මේ ලාභ ශ්‍රම වෙළඳපොල ජාත්‍යන්තර වෙළඳපොල තුළ තරඟයේ දී අඩුම පිරිවැයක් සහිත එකක් හැටියට ආයෝජකයින්ට ඉදිරිපත් කෙරුණු අන්දම පිල්ජර් විස්තර කරනවා. "අපනයන සැකසුම් කලාප" තුළ දැකගත හැකි වුණු එම ශ්‍රම වෙළඳපොලේ දර්ශන අප ඉදිරියේ දිගහැරෙනවා. මේ නව සැකැස්මෙන් උපයන ලාභ පොදි ගමන් කරන්නේ වියට්නාමයෙන් පිටතට.

මේ වෙළඳපොල තුළ හමුදාව ද ව්‍යාපාරවලට ඇතුළත් වෙලා. වියට්කොං සටන්කරුවකු ලෙස හැඳගත් යුවතියක් සංචාරකයින් "තීම් පාක්" එකක් තුළ වන වදුල් හරහා කැටුව යනවා. විදුලි ආලෝකය සපයා සංචාරක කණ්ඩායම්වලට ගමන් කළ හැකි පරිදි විශාල කොට සකසා ඇති ඇති "වියට්කොං යුද උමං" සංචාරක ආකර්ෂණය දිනාගන්නා ස්ථාන බවට පත් වෙලා. මෙහි එන සංචාරකයින්ට මුදල් ගෙවා ඇමෙරිකානු තුවක්කුවක් හෝ වියට්නාම් තුවක්කුවක් රැගෙන ඉලක්කයට වෙඩි තැබීමේ අවස්ථාව ද ලැබෙනවා!

එක්සත් ජනපද හමුදා විසින් සමූලඝාතනය කර දැමූ පරම්පරාවක් පිළිබඳ මතක චිත්‍රපටය පුරා වරින් වර මතු වෙනවා. එක තැනක විසි වැනි සියවස පුරා වියට්නාමයට අත්විදීමට සිදු වුණු ආක්‍රමණවල අහිමි වීම් දරා සිටින වැඩිහිටි කාන්තාවක්. තවත් තැනක මරණයේ මුවවිට හිඳිමින් අනිත් පවුල්වල සියලු දෙනා ඝාතනය කෙරුණු අන්දම දැක දිවි ගලවාගත් ස්ත්‍රියක්. ඇගේ දරුවන් තිදෙනා මරාදැමුණු අතර තුවාල ලැබූ ඇය වැතිර සිටියේ ඔවුන්ගේ මළකඳන් යට යි. ඇය විස්තර කරන කුරිරු මයි ලායි සමූලඝාතනයට වරදකරු වුණේ එක කනිටු හමුදා නිලධාරියෙක් විතරයි. ඔහු අත්වින්දේ හුදු මාස හතර හමාරක හිරදඬුවමක්. මේ යුද්ධයේ ඉතිහාසය හොලිවුඩ් චිත්‍රපටි මඟින් නැවත ලියැවුණු අතර එහි සැබෑ ඡායාරූප වැඩි සංඛ්‍යාවක් කිසි දා මහජන ඇස ගැටුණේ නැහැ.

චිත්‍රපටය ස්ථානගත වෙන්නේ අනූ ගණන්වල ලෝකයට විවෘත වීමේ ක්‍රියාවලිය තුළ සන්ධිස්ථානයක පසු වන වියට්නාමය තුළ යි. එම ක්‍රියාවලියෙහි ප්‍රතිවිපාක පිළිබඳ කාංසාසහගත වදන් මාලාවකින් එය සමාප්ත වෙනවා. වියට්නාමයේ සියලු ජනතාවගේ යහපත සඳහා විසඳා ගත යුතු ව තිබුණු, එහෙත් නොවිසඳී පවතින ගැටලු සමුදාය මත අඩමානයට රැඳී තියෙන රටක් පිළිබඳ චිත්‍රයක්.

[වියට්නාම්: ද ලාස්ට් බැට්ල් (1995), රචනය සහ ඉදිරිපත් කිරීම : ජෝන් පිල්ජර්, නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය : ඩේවිඩ් මුන්රෝ.]