නලුවාගේ මරනය (2)

නලුවකු යනු සිය ශරීරය තුල තමා පමනක් නො ව අන් සියලු දෙනාත් ගැබ් කරගෙන සිටිනා යෝධයෙක් වැනියි. මේ ගැබ් කරගැනීම දීර්ඝ කාලයක අභ්‍යාසයෙන් හා ජීවිත පරිඥානයෙන් අත්පත් කරගැනෙන අර්ථසිද්ධියක් බැවින් ඊට කෙටි විකල්ප නැහැ. ලෝකය පිලිබඳ, ජීවිතය පිලිබඳ, එනයින් මිනිස් අප පිලිබඳ ඥානය සිය එලඹ සිටීමෙන්ම (presence) මූර්තිමත් කිරීමෙහි සමත් නලුවාගේ ශරීරය එම කාර්යය නවතා දැමීම යනු සිතාගත නොහැකි අන්දමේ දැවැන්ත සංස්කෘතික අහිමි වීමක්, දරිද්‍රතාවට වැටීමක්. අධ්‍යක්ශවරයකුට එවන් පරිනතභාවයකින් හෙබි නලුවකු හමු වීම අගනා නාට්‍ය පිටපතක් ලැබීමට නොදෙවෙනි අසිරිමත් හමු වීමක්.

විජය නන්දසිරිගේ අභාවය යලි පිරවීම ඉතා අපහසු හිඩැසක් අපේ රංග කලා ක්ශේත්‍රයෙහි ඇති කර තිබෙන බව කීම කිසි සේත් අතිශයෝක්තියක් නෙමෙයි. ඔහුගේ රංග කලා ජීවිතයේ ආරම්භය හා මෑත කාලීන රඟපෑම් ("ජනප්‍රිය" හා ප්‍රහසනාත්මක නාට්‍ය, ටෙලි නාට්‍ය, චිත්‍රපට) සසඳමින් විනිශ්චයන් දීම ඉතා ලේසි වැඩක්. ඒක කරන්න ඕනෑ තරම් අය ඉන්නවා. සමහරු පෙනී සිටින්නේ හාස්‍යය මරනීය අන්දමින් "ඇලජික්" වුනු සත්ව කොට්ඨාසයක් වගේ. ඔය විනිශ්චයකාර වැඩේ අතිසරලයි, ඒකාංශිකයි; එය මේ කලාකරුවා පිලිබඳ අංගසම්පූර්න ඇගැයුමක් කිරීමට බාධාවක්.

ඔහුගේ මෑත කාලීන ප්‍රහසන රංගනයන් ගැන මහදැනමුතු කතන්දර කියන, කෝචොක් දමන උදවියගේ හාන්සි පුටුවලට පහසුවෙන් පෙනෙන, එහෙත් ඔවුන් නොකියන අනිත් පැත්ත කුමක්ද?

විජය නන්දසිරි පසුගිය වසර විස්සක පමන කාලයක් තිස්සේ දියවැඩියා රෝගයෙන් පෙලුනු පුද්ගලයෙක්. එයින් හටගත් අනේක විධ අතුරු ආබාධ ද ඔහුට තිබුනු බව ඔහුගේ මරනය පිලිබඳ පල වූ වාර්තාවල සඳහන් වුනා. පූර්න කාලීන හා වෘත්තීය නලුවකු එවැනි රෝගී තත්වයන්, හදවත් සැත්කම් යනාදිය සමග ජීවිතයට මුහුන දෙන්නේ කෙසේ ද? පුලුවන් නම් බලය තිබෙන ආන්ඩුවේ, "චින්තනයේ", "පුරවැසි" බලකායන් හැටියට පෙනී සිටිනා පරපුරකට එක් වී යමක් කරගැනීමට වෑයම් කිරීම ඇත්තට ම වරදින විකල්පයක් නෙමෙයි; ඇත්ත - මම ඒක පිලිගන්නවා. එහෙම කරලා හරි ගිය අය කොච්චර ඉන්නවද? ඒත් විජය නන්දසිරි කලේ ඒක නෙමෙයි. දුර සිට බලන අපට පෙනෙන්නේ ඔහු තමන් ප්‍රවීනත්වය ලද විශය තුලම රැඳී හිඳිමින් ජීවිතය සඳහා සටන් කර ඇති බවයි. මනමේ, සිංහබාහු, මහාසාර වැනි ඔහුගේ මුල් කාලීන නාට්‍ය රංගනයන් සමග බෙහෙවින් විසංසන්දනය කෙරෙන මෑත කාලීන නාට්‍ය, ටෙලි නාට්‍ය හා චිත්‍රපටි සමග නලුවකු ලෙස ඔහුගේ "දෙවැනි ගමන" ඇරඹෙන්නේත් ඔහු රෝගී තත්වයට පත් වන්නේත් බොහෝ දුරට එක ම අවධියක බව පේනවා. එකක් අනෙකට ඍජු ව ම සම්බන්ධ බව සරල අන්දමින් කියා පෑම මගේ අරමුන නෙමෙයි. කලින් ඉපදුනේ කිකිලිද, නැත්නම් බිත්තරේද?

ඒත්, කලාකරුවන්ට පමනක් නොව මොනම අන්දමේ පුද්ගලයකුට වුවත් මනා සෞඛ්‍ය පහසුකම් සඳහා මහ ධන සම්භාරයක් වැය නොකර ජීවිතය රැකගත හැකි වාතාවරනයක් මෙකී කාලය තුල තිබුනාද? දැන් එහෙම වාතාවරනයක් තියෙනවද? සිත හා ගත දෙක ම අධික ලෙස වෙහෙස කරවන කාරියක් වන රට වටා විවිධ තන්හි වේදිකා නාට්‍ය රඟදැක්වීම හා ටෙලි කර්මාන්තයේ නිරත වීම සිය දිනපතා ජීවිතය කරගත්තකුගේ සෞඛ්‍යය ඒ සියල්ල මැද රැකගත හැකි වාතාවරනයක්? ඒ සඳහා සම්පත්?

විජය නන්දසිරිගේ ප්‍රතිභාවට සේ ම දීර්ඝ කලත් තිස්සේ නොකඩවා වේදිකා නලුවකු ලෙස වැඩ කිරීම හා පුහුනු වීම මගින් ඔහු ලබා සිටි ප්‍රවීනතාවට සරිලන කලා කෘති නිපදවෙන කාලපරිච්ඡේදයක සිය ජීවිතයේ පරිනත ම අවධිය ගත කරන්න ඔහුට ඉඩ ලැබුනේ නැහැ. ඔහුගේත් මෑතදී අභාවප්‍රාප්ත වූ තවත් බොහෝ දක්ශ නලුනිලියන්ගේත් ඛේදවාචකය එයයි. ඊනියා කර්මාන්ත හැටියට හෝ ක්ශේත්‍ර හැටියට ගත් විට නාට්‍ය කලාව, රූපවාහිනිය හා සිනමාව යන තුනම දැවැන්ත කඩා වැටීමකට ලක් වූ අවධියක සිය ජීවිතයේ පරිනත අවධියට ලඟා වුනු නලුවෙක් විජය නන්දසිරි. "ටෙලි කම්කරුවා" යන යෙදුම සම්පූර්නයෙන් අර්ථවත් කරන තරමට නලුවා පරිවර්තනය වී අවසන් වුනු කාලපරිච්ඡේදයත් මෙය යි. මේ කර්මාන්තවල කඩා වැටීම සහ විජය නන්දසිරි වැන්නන් වඩා "සැහැල්ලු", "ජනප්‍රිය" හා "වානිජ අතින් සාර්ථක" "අවර ගනයේ" කලා කෘති වෙත යොමු කිරීමට මුල් වූ හේතු අතර තියෙන සම්බන්ධය ගැන සිහිය පිහිටුවන්නේ නැතුව මේ කිසිම කාරනයක් ගැන කතා කරන්න අමාරුයි. විජය නන්දසිරිගේ මෑත කාලීන රංග කලා කටයුතු කෙරෙහි කනස්සලු වන, ඒවාට විරෝධය දක්වා ඔහු අවප්‍රමාන කොට මඳකට ලොකුකම අත්පත් කරගන්නා අය ඇත්තටම විරෝධය පල කල යුතු, එරෙහි විය යුතු වන්නේ මේ දුර්දශා සම්පන්න වාතාවරනය නිර්මානය කල පවත්නා ලෝක පර්යායට, ධනේශ්වර ක්‍රමයට නෙමෙයිද?