හඬ නිහඬ [පලමු බැල්ම]

ප්‍රවීන නාට්‍යවේදී ජයලත් මනෝරත්න රචනා කොට අධ්‍යක්ශනය කල හඬ නිහඬ නාට්‍යය පසුගිය දා (ජූලි 26) පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ එදිරිවීර සරච්චන්ද්‍ර එලිමහන් රංග පීඨයේ දී වේදිකාගත වුනා. නාට්‍ය දැක්ම සංවිධානය කර තිබුනේ ඉංජිනේරු පීඨ ශිශ්‍ය සංගමයේ 'අරුනැල්ල' ශිශ්‍යත්ව අරමුදලට ආධාර පිනිස. පෙට්‍රෝලියම් කම්කරුවන්ගේ වර්ජනය නිසා කොලොන්නාව ප්‍රදේශයේ හටගත් තදබදය හේතුවෙන් නාට්‍ය කන්ඩායම පේරාදෙනියට ලඟා වෙන විට නාට්‍යය පටන්ගන්නා වේලාව පහුවෙලා. සෙනග වැඩි වේ ය යන බියෙන් පැයකට පමන කලින් රංග පීඨය කරා ගිය අපට තවත් වැඩිපුර පැයක් පමන නාට්‍යය පටන්ගන්නා තුරු රැඳී ඉන්න සිදු වුනා. කෙසේ වෙතත් අප බෙහෙවින් ප්‍රිය කරන නලුනිලි පිරිස වේදිකාවට අවතීර්න වනු දැකීමෙන් අපේ වෙහෙස මොහොතකට නිවී ගියා.

හඬ නිහඬ නාට්‍යය, ග්‍රැමෆෝන් යුගයේ සංගීතඥයකු වූ ජේමිස් සිල්වාගේ (ප්‍රබන්ධිත චරිතයක්) ජීවිතය හා එහි ඛේදාන්තය වටා ගොඩනැඟුනක්. ක්‍රමයෙන් ව්‍යාප්ත වන සමාගම්වල අධිකාරය හා තරගය හමුවේ සිය කලාත්මක ස්වාධීනත්වය රැකගැනීමට අරගලයක යෙදෙන ජේමිස් සිල්වා සහ ඔහුගේ පරිවාර ගායක හා සංගීතවේදී පිරිස අලුතින් මතු ව එන ගුවන් විදුලිය විසින් එල්ල කරන අභියෝගයට ද මුහුන දෙනවා. ඒ අතර සිය පරමාදර්ශ අත නොහැර නිර්මානකරනයෙහි තත්පර වන සිල්වාට ආර්ථික අහේනිය හා පවුලේ සම්බන්ධතා බිඳ විසිර යාම මගින් අත්පත් වන්නේ ශෝචනීය ඉරනමක්. ඔහුත් ඔහු වටා සිටින චරිතත් මේ අත්දැකීම් සමුදාය හරහා ගමන් කරන අයුරු කිසියම් අතිනාටකීය ඛේදවාචී ක්‍රමවේදයකට අනුව ඉදිරිපත් කිරීම අධ්‍යක්ශවරයාගේ අරමුන වූ බව පෙනීගියා.

මෙය අර්ධ-වාර්තා රංගමය ස්වරූපයකින් නිර්මානය වූ නාට්‍යයක්. ජයලත් මනෝරත්නයන් මීට පෙර ද මේ ආකෘතිය ඉතා සාර්ථක අන්දමින් උපයෝගී කරගෙන තිබුනත් මේ අවස්ථාවේ එය නාට්‍යයේ තේමාව හා අන්තර්ගතය සමග කෙතරම් හොඳින් ගැලපුනා ද යන්න මට නම් ප්‍රශ්නයක්. ක්‍රමයෙන් අලුත් වුනු තාක්ශනයේ වර්ධනය, එම වර්ධනය මත බලපෑ ප්‍රාග්ධනයේ අනුහස හා කලාකරුවන්ගේ ඉරනම පිලිබඳ ඓතිහාසික වාර්තා මත පදනම් වෙමින් ලියා තිබුනු පිටපත වරින් වර ලංකාවේත් මේ කලාපයේ අනිත් තැන්වලත් නිදහස් අරගලය වෙත යොමු වෙනවා. ඒත් ඒ යොමු වීම අසම්පූර්න යි. හුදෙක් මතුපිටින් කරන සඳහන් කිරීම් කීපයකින් විතරක් මේ සමාජ - ආර්ථික - දේශපාලනික සන්දර්භය සාධාරන අන්දමින් නාට්‍යයට සම්බන්ධ කරන්න හැකියාව ලැබෙන්නේ නෑ. බොහෝ විට දකින්න ලැබෙන්නේ මේ කලාකරුවන් (ශිල්පීන්?) කිහිප දෙනා සාකච්ඡාවේ යෙදී සිටින අයුරක්. ඔවුන් හරහා කිසියම් "අධ්‍යාපනික" (?) ප්‍රවේශයක් ගනිමින් ඉතිහාසයේ ඇතැම් සිද්ධීන් වාර්තාගත කිරීමට වෑයමක් දැරෙනවා.

ඒත් මේ විස්තරය අසම්පූර්න යි. ප්‍රමානවත් ගැඹුරකින් ගවේශනය කෙරිලා නැහැ. ඒ නිසා වාර්තා රංගයක දිග පලල තුල පවා ඊට සාධාරනයක් ඉශ්ට වුනු වගක් මට නම් හිතෙන්නේ නැහැ. අනිත් අතට නාට්‍යය තුල සිටින චරිත බෙහෙවින් පා වෙන ස්වරූපයක් පෙන්නුම් කරනවා. ඔවුන් අතර සබඳතා මෙන් ම ඔවුන් ඇතුලත සිදු වන ඝට්ටනයන් නිරූපනය කෙරෙන විදිහ ගැඹුරු මදි. ඒ කාරනය අතින් මෙහි දී අතිසරලීකරනයක් දකින්න ලැබෙනවා. ඇත්ත: අතිසරලීකරනය ඇතැම් කලාත්මක ප්‍රකාශන සඳහා ආධාරකයක් වෙන්නත් කෘතියක බලය වැඩි කරන්නත් කරන්නත් උදව් වෙන අවස්ථා තියෙනවා. ඒත් මෙතන වුනේ එහෙම නෙමෙයි. ජේමිස් සිල්වාගේ පලමු විවාහයේ බිඳවැටීම ගැන අනිත් චරිත අතර සිදු වන කතාබහෙන් අපට දැනගන්න ලැබුනත් ඔහුගේ දියනිය ගැන අහන්න දකින්න ලැබෙන්නේ හදිසියේ නාට්‍යයේ අවසාන භාගය එලඹෙන විට විතර යි. ඒ ඔහුගේ දෙවැනි විවාහයේ දරුවාගේ මරනයෙන් හා දෙවැනි විවාහයේ බිරිඳ දික්කසාද නඩු පැවරීමෙන් පසු ව යි. මේ පවුල තුල ජීවිතය, එහි නිතර කියන පරිදි ම ජේමිස් සිල්වාට සිය බිරිඳ හා දරුවන් "මගඇරීම" පිලිබඳ ඛේදවාචකය අපට එතරම් බරපතල විදිහට දැනෙන්න සලස්වන්න නාට්‍යකරුවා සමත් වෙන්නේ නෑ.

රඟපෑම් අතින් ගත්තත් යම්යම් ගැටලු දකින්න ලැබුනා. ඇතැම් අවස්ථාවල නලුනිලියන් පේලියට හිටගෙන වරින් වර එක්කෙනා බැගින් ඉදිරියට පැමින කතා කරන ආකාරය - තරුන පරපුරේ සංගීත ශිශ්‍යශිශ්‍යාවන් සංගීතය ගැන ප්‍රවීනයකු සමග වාද කරන අවස්ථාවේ - සිහිපත් කලේ පාසැල් විවිධ ප්‍රසංගයක දැකිය හැකි නුහුරු හා ආධුනික ලක්ශන.

ලංකාවේ සංගීත ක්ශේත්‍රයේ වර්ධනය හා එය විසි වැනි සියවස මුල මෙරට විප්ලවවාදී දේශපාලන අරගල සමග දැක්වූ සංකීර්න අපෝහකාත්මක සම්බන්ධය කලාකරුවකුට ඉතා වැදගත් තේමාවක්. ඒ ගැන සැකයක් නැහැ. එය තුල සමසමාජ ව්‍යාපාරය හා පසු ව බෝල්ශේවික් ලෙනින්වාදී පක්ශය කලාකරුවන් හා බුද්ධිමතුන් තුල දැල්වූ අපේක්ශා පිලිබඳ කතාවක් තියෙනවා. ඒ වගේ ම ප්‍රාග්ධනය හා ජාතික ධනේශ්වරය එම ප්‍රබෝධය ජාතිකවාදී කෝව තුල මකා දිය කර හැරි අන්දම පිලිබඳ කතාවක් ද තියෙනවා. මෙය නිදහසෙන් පසු මෙරට කලාකරුවන්ගේ ගමන් මග පිලිබඳ කතාවක් බවට පත් වෙන්න හොඳ ම විභවයක් තිබුනු කතා වස්තුවක්. අනිත් අතට ප්‍රාග්ධනය ඉදිරියේ කලාකරුවාගේත් කලා නිදහසේත් ඉරනම පිලිබඳ සුපුරුදු තේමාව මෙහි තියෙනවා. මේ සියල්ල මනා කලාත්මක සත්කාරයක් නොලබා අමුවෙන් පිලුනු වෙන ගතියක් එය නැරඹූ මට දැනුනා.

නාට්‍ය පිටපත නලුවන්ට රඟපෑම සඳහා ඒ තරම් ගැඹුරු හා සංකීර්න අවස්ථා ලබා නොදීම හේතුවෙන් අධ්‍යක්ශවරයා තෝරාගෙන තිබූ මාර්ගය වුනේ පාත්‍ර වර්ගයාගේ ජීවිත හැකිතාක් අතිශයෝක්තිගත ලෙස ඛේදජනක කිරීම යි. ඔවුන් ලෝ දහමින් වැදෙනා ප්‍රහාර හමුවේ කායික ව හා මානසික ව කැඩී බිඳී අබලන් ව ගිය සුන්බුන් ගොඩක් බවට පත් වෙන අන්දම අප ඉදිරියේ දිගහැරෙනවා. මේ අතිශයෝක්තිය නාට්‍යයේ වස්තු විශය විසින් ඉල්ලා සිටින දෙයක් ද? මට වැටහෙන්නේ එය එසේ නොවන බව යි.

අප ඉදිරියේ චිත්‍රනය කෙරුනු දෙය අතිශය බලගතු අසාරදෘශ්ටියකින් පැහැගැන්වී තිබුනා. කලාකරුවාගේ අරගලය - කලාව සඳහා මෙන් ම යහපත් ජීවිතයක් සඳහා කරන අරගලය - නියත වසයෙන් ම පරාජයට නියමිත බවත් ශෝක සන්තාප ගංගාවක ගිලී වියැකෙනු මිස ඔහුට වෙනත් මගක් නොමැති බවත් ඇඟවුම් කරන නාට්‍යය ප්‍රේක්ශකයින් අතරින් කිසියම් සහානුභූතියක් දිනා නොගත්තා නෙමෙයි. ඒත් මෙහෙම දේකුත් තිබුනා : ඉතා අත්තනෝමතික මට්ටමට නැඟුනු මේ ඛේදවාචී රංගනවලින් කම්පනයට පත් වුනු ප්‍රේක්ශකයා නිහඬ වුනේ වරක් දෙකක් විතර යි. අනිත් අවස්ථාවල ඔවුන්ට හිනාගියා! මෙය නාට්‍යයේ යොදාගෙන තිබෙන ඒකමානීය රූපනවේදය (රංග රීතිය) නිසා හටගත් දෙයක් ද නැත්නම් හැම දේකට ම හිනා වෙන්න බලාගෙන ඉන්නා පේරාදෙනි (අව)රසික පර්ශදයේ දුබලතාව නිසා වුන දෙයක් ද යන්න ගැන වාද කරන්න බැරි නෑ. ඒත් මේ තත්වයට නාට්‍යයේ පිටපත හා එහි ප්‍රතිඵලයක් ලෙස සීමා වුනු අධ්‍යක්ශනයත් වග කිව යුතු බව මගේ හැඟීම යි.

සමකාලීන සමාජ දේශපාලන කලම්භනයන් අබියස කිසියම් නිරායුධ බවකට ලක් වුනු කලාකරුවකු මුහුන දෙන අර්බුදයක් මෙහි දී අපට මනෝරත්නයන් වෙතින් පේනවා. මෙහි අතිනාටකීය ලෙස පෙන්නුම් කරන ඛේදවාචකය මෑත කාලයේ කලාකරුවන්ගේ ජීවිත තුලින් "සැබෑ ජීවිතයේ ද" අපට දැකගන්න ලැබුනා. ආර්ථික අර්බුදයත් ඊට රටරටවල පාලක පන්තීන් දක්වන ප්‍රතිචාරත් කලාවේ මලගමට මිස වර්ධනයකට තුඩු දෙන දේවල් නෙමෙයි. මේ තත්වය කලාකරුවන්ගෙන් සැලකිය යුතු පිරිසත් බරපලත දුර්මුඛ වීමකට ඇද දමන බවට හොඳ ම සංඥාවක් හඬ නිහඬ කෘතිය.

ඔවුන්ට මේ අර්බුදයෙන් ගොඩ එන මාර්ගයක් පේන්න නැහැ. එම නිසා නොකඩවා සැඬ පහර උත්සන්න වෙන දුක්-සෝ-සුසුම් ගංගාවක සිය කාතියත්, ප්‍රේක්ශකයිනුත් ගිල්වා දැමීම විධික්‍රමයක් බවට පත් වෙනවා. මෙවැනි කෘතියක රූපනවේදය සිය අනුප්‍රානය ලබාගන්නේ අවරට ගිය අතිනාටකීය ටෙලි නාට්‍ය කලාවෙන් දෝ යි මට විටෙක හිතෙනවා. ප්‍රශ්නයේ මේ පැතිකඩ වෙන ම විභාග කල යුතු කරුනක්.