ජංගම සිංහල

මේ ස්මාට් දුරකථනවල තියෙන සිංහල යතුරු පුවරු සහ ලිවීමේ මෘදුකාංග සේරම අන්තිම බාල තත්වයේ ඒවා. සමහර ඒවගෙන් 'සිංහල' කියලා ටයිප් කරගන්නත් බැහැ! තවත් ඒවාට 'වෘත්තීය' කියලා ලියන්න අකුරු මදි. තවත් සමහර මෘදුකාංග අපට අනවසරයෙන් breaking news එවන්න ඉදිරිපත් වෙනවා. මේ හැම මෘදුකාංගයක් පසුපසම තියෙන ඉදිරිදැක්මේ ලොකු ඌනතාවක් මට පේනවා. ඒකෙන් මෘදුකාංග නිර්මාපකයින් අපේ භාෂාව ගැන දරන ආකල්පය අනාවරණය වෙනවා. ඒ තමයි ඔවුන් හැමෝම සිංහලෙන් ලිවීම සලකන්නේ අත්‍යවශ්‍ය නොවන, වෘත්තීය නොවන හා පුළුවන් නම් නොකර හිටියත් කමක් නැති 'සෙල්ලම් වැඩක්' වැඩක් හැටියට.

සිංහලෙන් ඉතා පරිපූර්ණ අන්දමේ ප්‍රකාශනයක යෙදීම දැවෙන අවශ්‍යතාවක් බව පිළිගන්නා මෘදුකාංග නිර්මාපකයෙක් හෝ ආයතනයක් අතින් නම් මීට වඩා වෙනස් හා උසස් දෙයක් හැදෙන්න ඉඩ තිබුණා. ඒත් දැනට තියෙන තත්වය ඕකයි.