වසංගත දිනපොත (2)

මහ මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා බෙදාහැරීම මේ වන විට සිදු වෙමින් පවතින්නේ මුහුණු ආවරණ හෝ කිසිදු ආරක්ෂක උපකරණයක් යොදාගැනීමෙන් තොරවයි. තැපැල් සේවකයින් නිවෙසින් නිවෙසට අනාරක්ෂිත ව ගමන් කරන මේ අවස්ථාව වසංගතය ඇති වූ පසු දිවයිනේ සියලු නිවෙස් එක ම ජාලයකට නිරාවරණය වන පළමු වතාවයි.

මීට පෙර සාමාන්‍ය තැපැල් සේවා සැපයීම, රෝහල් සායන වෙතින් ලැබෙන බෙහෙත් රෝගීන් කරා බෙදාහැරීම වැනි කටයුතු මෙලෙස අනාරක්ෂිතව සිදු කළත් එම බෙදාහැරීමේ ජාලය මේ තරම් විශාල එකක් වුණේ නැහැ. දැන් සිදු වන්නේ මුළු රටම සම්බන්ධ කරගන්නා පුළුල් මෙහෙයුමක්; විශාල ජනකායක් අනතුරට නිරාවරණය කිරීමක්.

මෙවැනි බෙදාහැරීමකට පෙර තැපැල් සේවකයින්ට ප්‍රමාණවත් ආරක්ෂක උපකරණ ලබා දිය යුතු යි! එමෙන්ම ශාරීරික දුරස්ථභාවය පවත්වාගැනීම, අත්සන් කිරීම සඳහා පෑන් භාවිත කළ යුත්තේ කෙසේ ද යනාදිය ගැන උපදෙස් ක්‍රමානුකූලව තැපැල් සේවකයින්ට මෙන්ම ඡන්දදායකයින්ටත් ලබාදිය යුතුව තිබුණා!

තැපැල් තැපැල්! (අප්‍රේල් 23)

තැපැල් දෙපාර්තමේන්තු සේවකයෝ දැන් රජයේ සායනවල බෙහෙත් හා සාමාන්‍ය තැපෑල බෙදනවා. ඒත් ඔවුන්ට මුහුණු ආවරණ හෝ වෙනත් කිසිම ආරක්ෂක උපකරණයක් නැහැ. මේ සේවකයින්ගේ ජීවිත පාවිච්චි කර ඉවත දැමිය හැකි දේ හැටියටයි ආණ්ඩුව සලකන්නේ. මේක අන්තිම තුච්ඡ අපරාධයක්!

හෘද රෝග සායනයෙන් ප්‍රතිකාර ගන්නා මගේ අප්පච්චීටන් අන්තිමේ දී තැපෑලෙන් බෙහෙත් ලැබුණා. ගෙනාවේ අනාරක්ෂිත ව මුහුණු ආවරණ නැතුව වැඩ කරන තැපැල් සේවකයෙක්. මීට වඩා හොඳයි සායනයට ගියා නම්. මේ බෙහෙත් ගන්න හෝ දොස්තර මහතා මුණගැහෙන්න සායනය ඇර වෙනත් තැනක් පහුගිය මාසෙ මේ ප්‍රදේශයේ තිබුණෙත් නෑ. අනිත් අතට සායනයේ වාතාවරණය කලින් අනුමාන කරන්න විදිහකුත් නෑ. එතන සෙනඟ හොඳට ම පිරිලා ඉන්නත් ඉඩ තියෙනවා. දුරකථනයෙන් කතා කළාම ඒ අය දිරිමත් කළේ තැපෑලෙන් බේත් ගෙන්වාගැනීම.

තැපෑල ආවාට පස්සේ මම තැපැල් ස්ථානාධිපතිවරුන් දෙන්නෙක් එක්ක කතා කළා. ඔවුන් කී විදිහට බෙහෙත් බෙදාහැරීමේ කටයුත්ත සඳහා මුහුණු ආවරණ සීමිත ප්‍රමාණයක් රෝහල්වලින් තැපැල් කාර්යාලවලට ලබා දී තිබුණා. ඒත් තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා විශේෂයෙන් මෙතෙක් මුහුණු හෝ අත් වැසුම් ලබා දීමක් වෙලා නැහැ. එක ස්ථානාධිපතිවරයෙක් කිව්වා දැන් ඒ ගැන පියවර ගැනෙමින් තියෙන බව. ඒත් මේ මොහොතේ එවැනි පහසුකම් ඔවුන්ට නැහැ.

යටිතලය ගැන (මැයි 28)

දුර සිට වැඩ කිරීම, පාසැල්, ටියුෂන් හා විශ්ව විද්‍යාල අධ්‍යාපනයට දුර සිට සම්බන්ධ වීම හෝ ඉගැන්වීම වගේ දේවල්වලදී මගේ පුද්ගලික ආශ්‍රය පරිසරයේ ඉන්නා අයගෙන් වැඩි දෙනෙකුට ඒවා ප්‍රමාණවත් විදිහට කරගන්න අන්තර්ජාල පහසුකම් නැති බව හරියටම තේරුණේ වසංගත කාලය තුළයි.

සාමාන්‍ය බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතා තියෙන අයට වුණත් පහුගිය මාස දෙකේ විශාල වශයෙන් බිඳවැටීම් සිදු වුණා. ඒවා හදන්න පැය කිහිපයේ සිට සති දෙක පමණ දක්වා විවිධ කාල ගත වුණා. මේ පහසුකම් මට්ටම විශ්වසනීය (reliable) මට්ටමක් හැටියට හඳුන්වන්න අමාරුයි.

විදුලිබලය හා අන්තර්ජාල සබඳතා දෙකේම බිඳවැටීම් ගත්තම අඛණ්ඩ සේවා සම්පාදනයකට සූදානම් යටිතලයක් තියෙන්නේ කොළඹ හා ප්‍රධාතනම නගර කීපයක් අවට විතරක් කියලයි මට හිතෙන්නේ.