සඳ ජය ගතිමු

ඇපලෝ 11 සඳ ගමනට අද වසර 51ක් සපිරෙනවා. ඒ ගැන මා කියවා ඇති ඉතා රසවත් පොතක් තමයි අනුර සී. පෙරේරා මහතා ලියූ සඳ ජය ගතිමු. පොත පළ වුණේ සඳ ගමනට අවුරුදු විස්සක් පිරීම නිමිත්තෙනුයි. විද්‍යා සාහිත්‍යය වෙනුවට මිථ්‍යා ඝනාන්ධකාරය පතුරන පොත්-පත්තර බහුල වෙන්න පෙර යුගයක සිහිවටනයක්.

සඳ ගමන සිදු වූ අලුත පළ කෙරුණු සඳට ගිය අපූරු ගමන නමැති පොත වෙනුවෙන් නීල් ආම්ස්ට්‍රෝං ලියා එවූ සුබපැතුමකුත් මෙහි තියෙනවා. මේ විචිත්‍ර ලෝකය අප අබියස සිංහල බසින් ඉදිරිපත් කළ අනුර සී. පෙරේරා එකල දරුවන්ගේ වීරයෙක් වුණා. විද්‍යා විනෝදය, සූර්යයා සහ ග්‍රහයෝ, උල්කාපාත සහ වල්ගාතරු ඇතුළු තවත් ජනප්‍රිය විද්‍යා පොත් ගණනාවක් ම රචනා කළ ඔහුගේ බස සරල, සුගම හා නිරවුල් එකක්.

"නිරෝධායනය" කියන පදය මම මුලින්ම දැක්කෙත් ඒ පොතෙනුයි. සඳ ගමනේ යෙදුණු අජටාකාශගාමීන් දින 21ක නිරෝධායන කාලයක් ගත කළ යුතු වුණා. සඳ සම්පූර්ණයෙන් ම ජීවයෙන් තොර බව තහවුරු වන තුරු ඇපලෝ ව්‍යාපෘතියේ සඳගමන්වලට පසු මේ නිරෝධායන පිළිවෙත අනිවාර්යයෙන් ක්‍රියාත්මක කෙරුණා.