The Art of Mahagama Sekera

මහගම සේකරගේ චිත්‍ර සහ වෙනත් කෘතිවල මුද්‍රිත පිටපත් ඇතුළත් The Art of Mahagama Sekera නමැති ප්‍රදර්ශනය අප්‍රේල් 27 වැනි දා සිට මැයි 04 වැනි දා දක්වා කොළඹ 07 හෝර්ටන් පෙදෙසේ, සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයීය දෘශ්‍ය කලා පීඨයට අයත් ජේ. ඩී. ඒ. පෙරේරා කලාගාරයේ දී පැවැත්වුණා. මෙය ප්‍රධාන වසයෙන් දෘශ්‍ය කලා පීඨයේ ශිෂ්‍යශිෂ්‍යාවන් වෙනුවෙන් ඉදිරිපත් කෙරුණක් වුණත් පොදුවේ සියලු දෙනාට විවෘත ව තිබුණා.

මට ප්‍රදර්ශනය නරඹන්න ලැබුණේ එහි අවසන් දවසේ. මේ අත්දැකීම, නිතර නොයන සොඳුරු පටු මං පෙත් දිගේ දසක කීපයක ඉතිහාසයකට යන්න විශේෂ වරප්‍රසාදයක් ලැබුණා හා සමාන යි. එය තවත් රසවත් කරමින් මහගම සේකර සූරීන්ගේ පුත් රවින්ද මහගමසේකර සහ දියණිය නිරූපමා මහගමසේකර ඒ ඉතිහාසයේ තවත් පසුබිම් තොරතුරු නරඹන්නන් සමඟ බෙදාගත්තා.

මේ ප්‍රදර්ශනය පැති කීපයකින් අපට වැදගත්. 1969 මහගම සේකර සූරීන් ජීවතුන් අතර සිටිය දී පැවැත්වුණු ප්‍රදර්ශනයෙන් පසු ඔහුගේ චිත්‍ර (පිටපත් හැටියට හෝ) මේ අන්දමින් ප්‍රදර්ශනය වෙන්නේ පළමු වරට. ඒත් එදා නොතිබුණු අභියෝග අද තියෙනවා. 1969 ප්‍රදර්ශනය වුණු, සේකර ඇඳි සියලු චිත්‍ර අද තියෙන්නේ කොහේ දැයි හොයාගන්න දැනට ක්‍රමයක් නැහැ. සමහර චිත්‍ර වෙනත් අය මිල දී ගන්න ඇති; තවත් ඒවා සේකර සූරීන් විවිධ හිතවතුන්ට තෑගි දෙන්නත් ඇති; තවත් සමහර ඒවා අස්ථානගත වෙන්නත් හොරකමට ලක් වෙන්නත් ඇති. කෙසේ වෙතත් මහගම සේකර සූරීන්ගේ බිරිඳගේත් දූපුතුන්ගේත් පරිශ්‍රමය නිසා පවුල සතුව පවතින චිත්‍ර ස්වල්පය සෑහෙන හොඳින් සුරැකී තියෙන බව දැනගන්න ලැබීම සතුටක්. ඒ වගේ ම වෙනත් සමහර චිත්‍ර දැන් තියෙන තැන් හොයාගන්නත් ඔවුන් සමත් වෙලා තිබුණා. එයින් එක චිත්‍රයක් එය හිමි නිවසේ දී වැහි වතුර වැටීම නිසා තරමක් දිය වී ගිහින්. ඒ මුල් පිටපත්වල තියෙන දුර්ලභ බව නිසා ම මේ වගේ ප්‍රදර්ශනයකට ඒවා ගෙන ඒම සෑහෙන බරපතල වැඩක්; ආරක්ෂිතව ප්‍රදර්ශනය පැවැත්වීමත් ඉන් පසු ඒ ඒ චිත්‍ර ඒවායේ නිවහන් කරා ගෙන යාමත් කියන්නේ විශේෂිත අවධානයක්, ප්‍රවේසමක් හා ප්‍රවීණත්වයක් අවශ්‍ය මෙහෙයුමක්. මහගම සේකර පවුල සතුව ඇති කෘති සංරක්ෂිත එකතුවක් හැටියට පවත්වාගැනීම ගැන ඔවුන්ට සැලසුම් තියෙන බවත්, මේ සිතුවම් ඇතුළත් කෝපි මේස පුස්තකයක් සම්පාදනය කරන අදහසක් ඇති බවත් දැනගන්න ලැබුණා. මේවා සම්පූර්ණ වෙන්න ඇත්තට ම කාලයක් යනවා.

මේ ප්‍රදර්ශනය එම ක්‍රියාවලිය අතරතුර ඉදිරිපත් කෙරුණු කාලීන අතරමැදි විසඳුමක්. මෙහි දී ඉදිරිපත් කෙරුණේ ඒ චිත්‍රවල, පොත් පිටකවර නිර්මාණවල හා වෙනත් පිරිසැලසුම්වල ඩිජිටල් මුද්‍රිත පිටපත්. ඒක 1969 ප්‍රදර්ශනය තරම් විශාල එකතුවක් නොවුණත්, එහෙම කියද්දී හිතෙන තරම් කුඩා එකතුවකුත් නෙමෙයි. 69 දී ඇඳ නොතිබුණු, හැත්තෑව දසකයේ චිත්‍රත් මෙතන තියෙනවා. සිත්තරා තම චිත්‍ර මත දිනය හා අත්සන යොදා නැති නිසා චිත්‍ර වැඩි ගණනක දිනය හැටියට පළ කර තිබුණේ කලින් ප්‍රදර්ශනය පැවැත්වුණු 1969 වර්ෂය යි. ඇතැම් චිත්‍රවල පසුපස සඳහන් කර තිබූ වර්ෂය අනුවත්, වෙනත් පසුබිම් තොරතුරු අනුවත් කාල නිර්ණය කරගත් බව රවින්ද මහගමසේකර සඳහන් කළා. ඒ නිසා සේකර සිත්තරකු හැටියට සක්‍රිය වූ 50, 60 හා 70 දසකවලට අයත් චිත්‍ර එහි නියෝජනය වී තිබූ බව පැහැදිලි යි. මේක සැලකිය යුතු තරමේ හරස්කඩක්. සේකරගේ සාහිත්‍ය කෘති රසවිඳිමින් හැදුණු වැඩුණු, තමන්ගේ සංස්කෘතියේ ප්‍රධාන චරිතයක් හෝ සංරචකයක් හැටියට සේකරව දකින පරම්පරා කීපයක් මේ චිත්‍ර දැක තිබුණේ නැහැ. මං සම්බන්ධයෙන් කියතොත්, කුඩා කාලයේ පටන් සේකරගේ පොත් පිටකවර හා සන්නිදර්ශන චිත්‍ර දැකීමෙන් හටගත් කුතුහලය ප්‍රමාණවත් තරමින් සංසිඳුවන්න සමත් වුණු එක ම අත්දැකීම මේ ප්‍රදර්ශනය තමයි.

ප්‍රදර්ශනයට ඇතුළත් චිත්‍රවල ගෘහස්ත - කුටුම්භ ජීවිතය, ප්‍රේමය, සොබාදහම, නගරය ආශ්‍රිත තේමා හා ධාරණා, ස්ත්‍රී රූප, සත්ව හා පුරාණෝක්තිගත රූප මෙන් ම වර්ණ, හැඩතල හා චලන සමඟ ගනුදෙනු කරන වියුක්ත සංරචනාත් තිබුණා. මට මතක හැටියට කැන්වසය මත තෙල් සායමින් කළ සිතුවම් එකක් දෙකක් හා පැස්ටල් කෘතියක් හැරුණු විට මේ කෘති බහුතරය ඇඳ තිබුණේ කඩදාසි මත දිය සායමින්. දිය සායම ඔහු තමන්ගේ ම ක්‍රමවලට හසුරුවනවා. සමහර අවස්ථාවල තෙල් සායමට හුරු පෙනුමක් එන්න උකුවට - ගනකමට අතුරලා. හැට, හැත්තෑව දසකවල පළ වූ සේකරගේත් වෙනත් ලේඛකයින්ගේත් ප්‍රමුඛ පොත් ගණනාවක් සඳහා ඔහු කළ පිටකවර ප්‍රදර්ශනයේ හරි අඩකට ආසන්න ඉඩක් ගත්තා. සේකරයන් තම දූදරුවන්ටත් බිරිඳටත් නිර්මාණය කළ ඇඳුම් මෝස්තර කීපයක් ද එහි තිබුණා. අභාවප්‍රාප්ත වීමට යන්තම් සති ගණනකට පෙර පාසැල් නිවාඩු සමයේ දරුවන් සමඟ ගිය චාරිකාවක දී අඳින ලද ඔහුගේ අවසන් සිතුවම් හා කටුසටහන් කීපයකුත් ප්‍රදර්ශනය වුණා.

මේ කෘති පෙළ එක වර දැකගන්න ලැබීම නිසා සේකර උත්සුක වූ වස්තු විෂයයන්, ඔහු සිතුවම් සංරචනය කළ ආකාරය, ඔහුගේ ශෛලියේ විකාසනය හා විවිධ මාධ්‍යයන් හැසිරවූ ආකාරය ආදිය ගැන වඩා පරිපූර්ණ වැටහීමක් ලබාගන්න රසිකයින්ට අවස්ථාව ලැබුණා. එහි දී ඇතැම් තේමාවක් පිළිබඳ සේකරගේ පරිකල්පනය චිත්‍රය, කවිය හා ගීතය අතර ඔබමොබ ගිය හැටිත් දකින්න ලැබීම අසිරිමත් අත්දැකීමක්. පිටකවර නිර්මාණයේ දීත්, පෝස්ටර් ඇතුළු වෙනත් ඩිසයින් වැඩවල දීත් විශේෂ අනන්‍යතාවක් සලකුණු කර ඇති සේකරගේ අක්ෂර කලාව හා පිරිසැලසුම් මෙහි දී වෙන ම ම අගයන්න වෙනවා. මේ බොහෝ පැති විධිමත්ව හදාරන දෘශ්‍ය කලා පීඨයේ සිසුසිසුවියන්ට ඒක සෑහෙන වැදගත් අවස්ථාවක් වෙන්න ඇති. ඩිජිටල් පිටපත් එකතුවක් තියෙන නිසා නැවත නැවත පහසුවෙන් ප්‍රදර්ශනය කරන්නත් සේකරගේ කෘති පිළිබඳ සාකච්ඡා හා අධ්‍යයන ප්‍රවර්ධනය කරන්නත් මේක හොඳ අවස්ථාවක්. රටේ වෙනත් තැන්වල සිටින රසිකයින්ටත් සිසුසිසුවියන්ටත් ජංගම ප්‍රදර්ශනයක් හැටියට මේ චිත්‍ර නැරඹීමේ අවස්ථාව ඉක්මනින් ලැබුණොත් ඒක ලොකු සේවයක්.